ලංකාවට හොලිඩේ Featured

ලංකාවට හොලිඩේ Image Credit: Michael Jastremski for openphoto.net CC:Attribution-ShareAlike

”මේ සැරේ අපි වින්ටර් හොලිඩේස්වලට යන්නෙ ලංකාවට. ඒ ගියහම අරුගම්බේ යන්න ඕනෙ. පාසිකුඩා යන්න ඕන. උණවටුනෙ නාන්න යන්නත් ඕන.” මේ එහෙ ඉන්න ලාංකිකයෙක්.

නිවාඩු හෙවත් හොලිඩේ පිළිබඳව බ්‍රිතාන්‍යයන්ගේ ද ඇත්තේ පුදුමාකාර ලක ලැහැස්තියක් ය. වසරකට වරක් කෙසේ හෝ විදේශ රටක නැත්නම් එංගලන්තයේ ම නිවාඩු නිකේතනයන්හි කාලය ගතකිරීම ඔවුන් සැබෑ කර ගන්නා සිහිනයක් වන්නේ ය. ලබන නිවාඩුවට කොහෙද යන්නේ හෝ ගිය නිවාඩුවට කොහේද ගියේ යන්න විමසීම බ්‍රිතාන්‍යයන්ගේ සාමාන්‍ය කතාබහකි.

එංගලන්තයේ සාමාන්‍ය රැකියාවක එක් සතියක වැටුප ලංකාවට යාමට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් ගැනීමට සෑහුන ද, විදේශ ගමන් යෑම ඔවුන්ට අරුමයක් වන්නේ ද යන ප්‍රශ්නයක් පැන නඟින්නේ වසරකට වරක් නිවාඩුවට පිටරට යෑමේ කලබැගෑනිය ඔවුන් තුළ කොතරම් ද යන්න සිතා බැලූ විට ය. බොහෝ රැකියාවන්හි නියුතු අයට සති හතරක හෝ පහක නිවාඩු ලැබෙන අතර එම නිවාඩුව තමන්ට අවශ්‍ය වන්නේ කුමන මාසයේ කුමන දිනවල ද යන්න වසර මුලදී ම තීරණය කොට ඉල්ලා වෙන්කර ගත යුතුවේ.

සති හතරම එක දිගට ගැනීමට තිබෙන ඉඩකඩ අඩු හෙයින් සති දෙක බැගින් කඩා පාවිච්චි කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. බ්‍රිතාන්‍යයන් නිවාඩු ගත කරන ජනප්‍රිය මාස දෙක ජූලි සහ අගෝස්තු ය. එකල ලැබෙන පාසල් නිවාඩුව ජූනි අග සිට ඔක්තෝබර් මුල දක්වා දිවෙයි. එකල බ්‍රිතාන්‍යය බොහෝදුරට අව් රශ්මියෙන් බැබළෙන නමුදු එය ද අතහැර දමා විදේශගතවීම සමහරු කරති.

පාරම්පරික ලෙසින් හැඳින්විය හැකි බ්‍රිතාන්‍ය නිවාඩු ගත කිරීම සිදුවන්නේ බොහෝවිට මුහුදු වෙරළ ආශ්‍රිතව ය. එම කාලයන්හි දී ඒ අහළ පහළ නාට්‍ය සංදර්ශන ද සර්කස් ආදිය ද පෙන්වනු ලැබේ. එකලට ම ආවේණික වූ රසකැවිලි ද නිපදවෙන අතර කැන්ඩි ෆ්ලොස් හෙවත් බොම්බයි මොටයි බෙහෙවින් දක්නට ලැබේ. ළමෝ මුහුදේ නාමින් වෙරළේ වැලි මාලිගා තනති. වැඩිහිටියෝ මුළු ශරීරයේම ක්‍රීම් තවරා අව්වේ සිට සම දුඹුරු කරගැන්මේ වෑයමේ යෙදෙති. එය ඔවුන් නිවාඩුව අවසන් වී නැවත වැඩට යන විට ඔවුන් කෙරෙහි පැහැදිලි වෙනසක් දැක්වීම මඟින් මුහුදු වෙරළක අව්ව තැප ඇති බවට සාධකයක් ද වන්නේ ය.

විදේශගත වන බ්‍රිතාන්‍යයන් බොහෝවිට යන්නේ උණුසුම් යුරෝපීය රටවලට ය. ස්පාඤ්ඤය එයින් ප්‍රධාන තැනක් ගනී. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන පහළොවක් පමණ ස්පාඤ්ඤය සහ ඒ අවට දූපත් කරා නිවාඩු පිණිස යති. මීට අමතරව ග්‍රීසිය ආශ්‍රිත දූපත් කරා මෙන් ම දකුණු ඉන්දියානු කොදෙව් දූපත් සහ ඇමෙරිකාවේ ඩිස්නිලන්තයට යෑම ද බෙහෙවින් සිදුවේ.

දෙසැම්බර් මස ලැබෙන ශීත කාල නිවාඩුවේ දී බොහෝ දෙනෙක් ස්විට්සර්ලන්තයේ හෝ ප්‍රංසයේ හිම කඳුවල ස්කින්ග් හෙවත් මුදුණේ සිට පහළට රූටා ඒමේ ක්‍රීඩාවල යෙදෙති.

එංගලන්තයේ සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනය නිවාඩුවට ලංකාවට යාම ය. රැකියා තදබදය සමඟ ලබාගන්නා නිවාඩුව උපරිම ලෙස පාවිච්චි කිරීම ඔවුන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි. බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණෙන විට ඔරලෝසුව කැරකෙන්නේ විරුද්ධ දිසාවට හෙයින් දවසකට ආසන්න කාලයක් අහිමි වන අතර එය සිතට වද දෙන්නක් බව ද අත්දැකීමෙන් දනිමි.

කෙසේ වෙතත් ලංකාවට නිවාඩුවට එන ශ්‍රී ලාංකිකයින් බොහොමයකට නිවාඩු ගන්නට සිදුවන්නේ පෙරළා තම රටට ගිය විට ය. ලංකාවට ඒමට පෙර සිට ලකලැහැස්ති කරගන්නා ගමන් බිමන්, චාරිකා මැද අතරමං වන බොහොමයක් දෙනා අනුරාධපුර පොලොන්නරුව යන්නේ වැඳපුදා ගන්නටත් වඩා දැක බලා ගන්නට ය. ලංකාවේ චාරිකාවේ දී අරුගම්බේ, පාසිකුඩා හෝ උණවටුනේ මුහුදේ නා අව්වට පිච්චී ලුණු වතුරට තැම්බී නොගියහොත් එය මදිකමකට හැරෙන නිසා නිරායාසයෙන් ම එවැනි ප්‍රදේශ කරා ඇදීයාම සිදුවේ. මේ බොහෝ චාරිකා යැවෙන්නේ නෑ හිත මිතුරන් සමඟින් ය. ලංකාවේ එතෙක් නොගිය ප්‍රදේශයන්හි සංචාරයට ඇලුම් කරන්නේ බොහෝ විට පිටරට ගිය පසු පළමු හෝ දෙවන වරට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්ය. දළදා මාලිගාව, වයස්ගතවූ ඥාතීන් බැලීම ආදිය යා යුතු තැන් ලෙස ලිස්ට් එකේ මුල් තැනට ම එයි.

මෙතැනදී තවත් දෙයක් වෙයි. ඒ ලංකාවේ සිටිය දී තේ කෝප්පයක්වත් නුදුන් අය ‘කෑම කටක් කාලා යන්න අපේ ගෙදරටත් එන්න’ යැයි කෙරෙන ආරාධනයයි. “කෑම කටකට” පමණක් ගෙදරකට යාම නොවටිනා වුවත් මඟහැරිය නොහැකි සමහර ආරාධනා මැද නිවාඩු එන්නෝ අතරමං වෙති. ජෙට් ලැග් හෙවත් දිග ගුවන් ගමනකින් පසු ඇතිවන විඩාව හේතුවෙන් නිවාඩුවේ දින දෙකතුනක් තමන් පැමිණි රටේ වේලාවට නින්දට පත්වන ඔව්හු කෙසේ හෝ එවැනි ලන්ච්, ඩිනර්වලට සහභාගි වෙති. එවැනි සමහර ගමන්වලදී තමන් එන විට තෑගි දීමට රැගෙන ආ ඇඳුම් පැලඳුම් ටොෆි චොක්ලට් ආදිය අවසන් වී ඇති නිසා එම ‘කෑම කට’ කෑමට යන්නට වන්නේ ෆැබ් එකෙන් හෝ ග්‍රීන් කැබින් එකෙන් ගත් කේක් ගෙඩියක් සමඟ ය. හිතට මොනවා දැනුණ ද තත්ත්වය එයයි.

මෙලෙස අවිවේකී නිවාඩුවක් ගතකර නැවත ගෙවල් දොරවල් බලා යාමට සූදානම් වන විට තව දෙයක් මතක් වේ. ඒ ඇස් වාට්ටුවේ හෝ ඩුප්ලිකේෂන් පාරේ ඇති සාප්පුවල විකුණන ඇඳුම් පැලඳුම් මිලදී ගෙන එංගලන්තයට ගෙන යාමට ය. එම ඇඳුම්වලින් බොහොමයක් ඇඟලුම් කම්හල්වලින් ආනයනයට නුසුදුසු යැයි කියා ඉවත් කළ ඒවා වුණත් එවැනි අඩුවක් ඒවායේ ඇත්තේ නැත. ලංකාවේ නිපදවෙන සමහර ඇඳුම් එංගලන්තයේ සාප්පුවලින් අප මිලදී ගන්නේ මෙහිදී මෙන් පස් හය ගුණයක් ගෙවා ය.

ඇඳුමකට කැමැති වී එය අතට ගෙන ලේබලය බැලූවිට මේඩ් ඉන් ශ්‍රී ලංකා යන්න සඳහන් වී ඇති බව දුටු විට සිතට දැනෙන්නේ සතුටකි. මිල අතර වෙනස මේ තරම් වන හෙයින් පුළුවන් තරම් ඇඳුම් මිලදීගෙන ගෙනයාම සිදුවන්නේය. මේවා අතර සීතලට අඳින ඇඳුම් ද ඇත්තේ ය.

ඊළඟට කෙරන්නේ ගෙනයාම සඳහා කුළුබඩු සහ එළවුළු, පලතුරු ලිස්ට් එක ලකලැහැස්ති කර ගැනීම ය. තුනපහ කුඩු, කට්ට සම්බෝල, සීනි සම්බෝල, මාළු ඇඹුල්තියල්, කරවල ආදිය කුස්සියට ප්‍රධාන වන අතර කෝලිකුට්ටු ඇඹුල් කෙසෙල් සහ ගස්ලබු පලතුරුවලින් ප්‍රධාන වේ. මේ අතර තවත් දෙයක් සිදුවේ. ඒ එංගලන්තයේ සිටින තම නෑදෑයාට හෝ එහි ඉගෙනගන්නා දරුවාට යැවීමට යැයි කියා නෑසිය හිතමිතුරන් අවසාන මොහොතේ ගෙන එන කෑම සහ ද්‍රව්‍ය රැගෙන යාමට සිදුවීම ය. එහිදී බොහෝ විට ඒවා ගෙන එන්නන් විවේචනය කිරීමට සිදුවීම වැළැක්විය නොහැකි වන්නේ ගුවන් ගමනකදී ගෙනයාමට ලැබෙන බර ප්‍රමාණය තමන් ගත් ඇඳුම් කෑමබීම ආදියෙන් දැනටමත් ඉක්මවා ගොස් ඇති නිසා ය. කෙසේ හෝ නැවත එංගලන්තය බලා යන අපි එහිදී නිවාඩු ගත කර ගන්නෙමු.

මේ අතර නිවාඩු යන සුද්දා තමන් ගත කළ රටේ හෝ ප්‍රදේශයේ දේශගුණය හොඳින් විඳ අවශ්‍ය තැන් නරඹා හමේ පාටත් ටිකක් දුඹුරු කරවාගෙන ගම රට බලා යයි. ඒ ඔවුනට නිවාඩු යනවා කියා දෙමවුපියන් නෑ හිතමිතුරන් බලන්නට යන්නට තැනක් නැති නිසා ය.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction