sri express

සැබැවින්ම ඇය ඉතා ලෙංගතුය.

ඒ ලෙංගතුකම ප්‍රෙක්ෂක ඔබට නුදුරු දිනයකදීම ලෝකප්‍රකට ගුරුගීතයේ අල්තිනායි හරහා දකින්නට ලැබෙනු ඇත. වේදිකාව,රූපවාහිනි මාධ්‍ය සහ සිනමාව යන මාධ්‍යන් ත්‍රිත්වයත් ඇයටම ලෙංගතුය. ඒ ලෙංගතුකම පැවතියේ සිනමා පවුලක තවත් අංකුරයක් නිසා වෙන්න ඇති. ඇය දමයන්ති ෆොන්සේකායි. මේ ඇය සමග කළ කෙටි පිළිසඳරක ලෙංගතු සටහනකි.

ඔබ මේ දවස්වල මොනවද කරන්නේ?

තුෂාරි අබේසේකරගේ හෝපලු අරණටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වුණා. තණමල්විල ප්‍රදේශයේ තමයි රූගත කිරීම් තිබුණේ. එම රූගත කිරීම් කටයුතු අවසන් කළා. ඇත්තමට ඒක සුන්දර අත්දැකීමක් වුණා. ඊට අමතරව මම මේ දවස් වල උපාලි ගම්ලත්ගේ ගුරු ගීතයචිත්‍රපටයට සම්බන්ධ ව එහි රූගත කිරීම්වල නිරතව සිටිනවා.

ගුරු ගීතය සිනමා පටයට ඔබ මොනවගේ දායකත්වයක්ද සපයන්නේ.?

ගුරු ගීතය කියන්නේ රුසියන් බසින් ලියැවුණ නවකතාවක්. අල්තිනායි හා දුයිෂෙන් යන චරිත දෙකක් අතර දිවෙන කතාවක් තමයි එහි සදහන් වන්නේ.  ඒක දුයිෂෙන්ගේ ශිෂ්‍යාවක් වන අල්තිනායි සමඟ ඇති වන අප්‍රකාශිත ආදරයක්. එහි සදහන් වන අල්තිනායිගේ චරිතයට තමයි මම පණ පොවන්නේ. ඇත්තටම මෙම සිනමා පටය ලංකාවත් පසුබිම් කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ. එහිදී අල්තානායිට ශිෂ්‍යත්වයක් ලැබිලා ලංකාවට පැමිණෙනවා. ඇය ලංකාවේදී බෙල්හුඩ් හි සංගීත ගුරුවරියක් ලෙස සේවය කරන අතර තුර ඇගේ ජිවිතයට සම්බන්ධ යම් යම් සිදු වීම් වටා තිමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අකාරයට තමයි අල්තිනායිගේ චරිතය ලංකාවට පසුබිම් කරලා ගොඩනගලා තියෙන්නේ. ලංකාවේ ජීවත්වන අල්තිනායි තමයි මම.

අල්තිනායි අපිට ආගන්තුක සංස්කෘතියක රුසියානු සංකේතයක්. එවැනි චරිතයකට පණ පොවන ඔබ එම සංස්කෘතික අංග ලක්ෂණ අවශෝෂණය කර ගත්තේ කෙසේද?

ඔව් පැහැදිලිවම සංස්කෘතින් දෙකක් තමයි.  නමුත් මෙම සිනමා පටයට මුල් වුණ ආදරයට සංස්කෘතීන්ගෙන් බලපෑමක් නැහැ. අල්තිනායි හා දුයිෂෙන් අතර ඇතිවන අප්‍රකාශිත ආදරයක් වුවත් ඒ දෙදෙනාගේම හදවත් තුළ එය තියෙනවා. අල්තිනායි ලංකාවට පැමිණි පසු ඇයට විශාල ප්‍රශ්න රුසකට මුහුණ දෙන්න ඇයට සිදු වෙනවා. නොමග යන්න උත්සාහ කරන තරුණ ශිෂ්‍යයෙක් යහමගට ගන්න ඇය සංගීතය උපයෝගී කර ගන්නවා. සංගීතය හරහා ඔවුන් අතර සෙනෙහක් උපදිනවා. ඔහුට ද පෙම්වතියක් ඉන්නවා. වැඩිහිටි ගුරුවරියක් ලා බාල ශිෂ්‍යයෙක් අතර ඇතිවන බැදීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වෙනවා. ඉතින් මෙහිදී ආදරය මුල් වීමත් මගේ සිනමා ජීවිතයේ අත්දැකීම් පාදක කර ගැනීමත් සහ මට අධ්‍යක්ෂවර‍යාගෙන් ලැබුණු සහයෝගයත් නිසා මම ඒ අභියෝගය ජය ගත්තා.

ගුරු ගීතය ගුරු ගීතයක් ලෙසින්ම නිර්මාණය නොවීම ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?

ගුරු ගීතයේ පසුබිම මෙහි හොදින්ම අන්තර්ගතයි. මොකද ඇයගේ ගෝලයින් දෙදෙනකේ අතර ගොඩ නැගෙන ආදර කතාව ඔස්සේ ඇයගේ අතීතය සිහි කැදවෙනවා. අගේ දුයිෂෙන් ගුරුතුමා ඇයට සිහිපත් වෙනවා. දුයිෂෙන් ගුරුතුමා ඇයට දක්වපු සෙනෙහස, ඇය අත්විදි නොයෙක් දුෂ්කරතා වලදී ඇයව ඉන් මුදවා ගත් අන්දම මෙම අරගලය හරහා නිරන්තරයෙන් ඇයට මතක් වෙනවා.  ගුරු ගීතය ගුරු ගීතයම ලෙසින් නොවුණත් නිර්මණශීලිව වෙනස් කිරීම මා හොද දෙයක් ලෙස දකිනිවා.

ඔබ  වෘත්තියෙන් නිළියක් වගේම කාර්ය බහුල සිනමා අධ්‍යක්ෂවරයෙකුගේ බිරිදක්. ඔබ මේ චරිත දෙකෙහි සමබරතාව ආරක්ෂා කර ගන්නේ කෙසේද?

මෙහිදී මට කුඩා කල සිටම උරුම වුණ පවුල් පසුබිම රුකුලක් වුණා. මම පුංචි කාලේ ඉදන්ම හැදෙන්නේ සිනමා පසුබිමක් තුළ. ඒ කලේ මම ඉගෙන ගත්තේ ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවෙන්. අවසානයේ මගේ ඒ හීනය හැබෑ කර ගන්න බැරිවුණා. මගේ ඉරණම ලියැවිලා තිබුණේ සිනමාවේ කියලා මට පසුව තේරුම් ගියා.

ඉතින් පුංචි කාලේ ඉදන්ම මම රංගනයට සම්බන්ධ වුණා. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය රංගනය ආදී සියල්ල පිළිබද මම ප්‍රායෝගික අත්දැකීම් ලබන්න මට අවස්ථාව උදා වුණා. ඒ අත්දැකීම් එක්ක නිළියක් ලෙසින් කටයුතු කරන ‍අවස්ථාවේ තමයි මට ප්‍රසන්නව මුණ ගැහෙන්නේ.ප්‍රසන්න අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන කොට මටත් ඒ පිළිබද අත්දැකීම් තිබුණ නිසා ඔහුව තේරුම් ගන්න මට වඩාත් පහසු වුණා. මේ පසුබිම තුළ අපි එක්නෙකාගේ නිදහස ඇහිරෙන්නේ නැතිව නිර්මාණවල නියැළෙන්න මටත් ප්‍රසන්නටත් හැකිවුණා. අපි අතර ඇති අවබෝධය තමයි මේ තරම් සාර්ථක ගමනක් අපි දෙන්නටම යන්න පුළුවන් වුණේ.

ඔබ වේදිකාව පිළිබඳ සදහන් කළා. නැවතත් වේදිකා නිර්මාණවලට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ නැද්ද?

ඔව් ඇත්තටම මම හීන දකිනවා මේ අවුරුද්දෙම වේදිකාවට නැවතත් යන්න. අවසන් වතාවට මම රංගනයෙන් සම්බන්ධ වුණේ දෙබිඩ්ඩෝවේදිකා නාට්‍යයට. ඒ ප්‍රසන්නගෙම නිර්මාණයත්. නමුත් මේ වසරේ මාගේම අධ්‍යක්ෂණය යටතේ වේදිකා නාට්‍යක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

ටෙලි නාට්‍ය කලාවට දිගින් දිගටම සම්බන්ධ වෙන්න ඔබ අපේක්ෂා කරනවාද?

ඔව් ඇත්තටම අපි වෘත්තියෙන් නළු නිළියන් නොවෙයි කියලා කිව්වට අපි ආපහු හැරිලා බලද්දී මට හිතෙනවා සම්පූර්ණ කාලය යොදවලා තියෙන්නේ රංගනයට. ටෙලි නාට්‍යයට ද සිනමාවට ද වේදිකාවටද යන්න නොවෙයි වැදගත් වෙන්නේ. නිෂ්පාදන කටයුතු වලටත් දායක වෙනවා. ඉතින් එකකොට සම්පූර්ණ කාලය මම යොදවලා තියෙන්නේ කලාව වෙනුවෙන්. ඒ හිදී මම ගොඩාත් ආදරේ වේදාකාවට. රූපවාහිනිය අමතක කරලා නොවෙයි. හොඳ නිර්මාණ ලැබුණොත් මම ටෙලි නාට්‍යට ද සම්බන්ධ වෙනවා.

සිනමා අධ්‍යක්ෂවරියක් වෙන්න ඔබේ අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම. එක එක්කෙනාගේ වර්ධනයේ පඩි පෙළවල් තියෙනවා. ඒ වගේම හීනත් තියෙනවා. ඒ හීනේ මටත් තියෙනවා. සිනමාව අධ්‍යක්ෂවරියක් ‍වීම මගේ ඊ ළග පියවර.

ඒක හැබෑ කර ගන්න එක තමයි මගේ අදිටන.

ඒ හීනේ හැබෑ වෙන්නේ කවදාද?

මම උත්සාහ කරමින් යනවා. ඒ සදහා මම ලොකු පසුබිමක් හදන්න ඕනි. මම සිනමාවට පය තබලා වසර ගණනාවක් ගත වෙනවා. ඇත්තටම දවසින් දෙකකින් මේ නිර්මාණය කරන්න මට අපහසුයි. ඒ නිසා මගේම කියලා සිනමා පටයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික සැලසුම් මම මේ දිනවල සකස් කරමින් ඉන්නවා.

ඔබේ සැමියා අධ්‍යක්ෂකවරයෙක්. ඔබත් අධ්‍යක්ෂණයට ප්‍රවේශ වීම ඔබ දෙදෙනා අතර යම් ගැටුමක් නිර්මාණය වෙන්න පසුබිම් වේවිද?

නැහැ. කොහෙත්ම නැහැ. මගේ ජීවිතයේ තියෙන පසුබිමත් සමග මා ලැබු අත්දැකීම් එක්ක මට යම් වැටහීමක් තියෙනවා. ප්‍රසන්නට නිර්මාණකරණයේදී මම ඔහුට අවශ්‍ය අන්දමින් උපරිම සහාය ලබා දුන්නා. මම නිළිවෘත්තියෙන් ඇතැම් විට කාර්ය බහුලව හිටියත් ඔහුගේ නිර්මාණවලදී හෙවණැල්ලක් වගේ හිදිමින් ඔහුට මම සහාය දුන්නා. ඔහු වෙනුවෙන් මම ඒ කැපවීම් කළා. ඒ නිසා අපි අතර හොද අවබෝධයක් තියෙනවා. අපි විවාහ වෙනකොටත් ඔහු දැන ගෙන හිටියා කලාවට සම්බ්නධ බව. කිසිම ගැටීමක් ඇතිවෙන්න හේතුවක් නැහැ. මොකද අපි දෙදෙනා එකිනෙකාගේ නිදහස ලබා දීලා තියෙනවා.

ඔබට සම්මාන ලැබිලා තියෙවාද?

මුලින්ම මට සම්මාන ලැබුණේ වේදිකාවෙන්. වේදිකාවේදී හොදම නිළිය,කුලසතා සහතික වලින් පිදුම් ලැබුවා. ජූරියේ විශේෂ ඇගයීම්වලට ලක්වුණා. සිනමාවේත් නැගී එන නිළිය, ජනප්‍රිය නිළිය, හොදම නිළිය, කුසලතා සහතික මට ලැබිලා තියෙනවා. රූපවාහිනියේ නම් මෙතෙක් වසර ගණනක් එක දිගටම හොද නිළිය ලෙස නාම යෝජනා වුණා.

නිර්මාණකරුවෙකුට කුසලතාව ඇගයීමට සම්මාන කොතෙක් දුරට ප්‍රමාණවත්ද?

මම කුඩා කල සිටම දකින්නේ සම්මානය ගෞරවනීය ලෙස ලබා ගත යුතු දෙයක් කියලා. සම්මානයක් ලැබෙන්නේ ඇත්තටම ශිල්පියා අගය කිරීමේ සංකේතයක් ලෙස. නිරුමාණකරුවෙකුට ඒක විශාල ආඩම්බරයක්. නාම යෝජනා වීම පවා මම දකින්නේ සම්මානයට පාත්‍ර වීම ලෙසත්. දක්ෂයින් ඇගයීම හොදයි. මොකද? ඉන් නිර්මාණකයක් කරන්න මුදලක් ලැබෙ‍න්නේ නැහැ. නමුත් ඔහුගේ හැකියාවන් ඇගයීම වටිනා දෙයක්. ඒ සදහා තමයි සම්මාන ලෝකයක් බිහි‍වෙලා තියෙන්නේ.

ලංකාවේ සිනමා කර්මාන්තයේ යම් අර්බුදයක් මෙන්ම ප්‍රශස්ත නිර්මාණ නොවන බවටත් විවිධ මැසිවිලි නැගෙනවා. මේ පිළිබඳ ඔබගේ අදහස?

මේ සදහා මම හේතු රාශියක් දිකිනවා. 77 න් ප සු පැමිණි  විවෘත ආර්ථිකය,රූපවාහිනිය,ආර්ථික අපහුසතා වැනි ප්‍රශ්න හේතු විදියම මා දකිනවා. ඒ ව‍ගේම නිර්මාණකරුවන්ගෙන් හොද පිටපත් බිහි වෙනවාත් අඩුයි. පොත්පත් කියවු, දැනුම් සම්භාරයකින් යුක්ත නිර්මාණකරුවන් අඩුයි. ඒත් ලංකාවේ මෙවැනි දුෂ්කරතා තිබුණත් හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ වගේම වාණිජ අරමුණු මුල් කරගත් නිර්මාණත් බිහිවෙනවා. හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයෝ වැළඳ ගන්නවා. ඒවා ඔවුන්ගේ හදවත් තුළ සදාතනිකව තැන්පත් වෙනවා. එවැනි නිර්මාණ ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ තාක්ෂණයෙන් ඉහළ සිනමා ශාලා නැහැ. ඒ කියන්නේ ඩිජිටල් සිනමා ශාලා නැහැ. සමහර අය සිනමා ශාලා වහගෙන යනවා. පනතක් තියෙනවා ඒ අන්දමින් සිනමා ශාලා වැසීය නොහැකි බවට. නමුත් ඒව නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම චිතුපටයක් හදන්න යන වියදම හොයා ගන්න අපහසුවෙලා තියෙනවා. මේ නිසා යම් අර්බුද සිනමා කර්මාන්තය තුළ තිබෙන බව නම් පැහැදිලියි.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction