sri express

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් වන්නේ කෙදිනද යන්න විමර්ශනයේදී ඒ සදහා සුවිශේෂී වූ ‍‍ඓතිහාසික විකාශනයක් ඇති බව පැහැදිලිවේ. පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා මේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය,පූර්ව ඓතිහාසික යුගය හා ඓතිහාසික යුගය ලෙස ඉතිහාසය වර්ග කර දැක්විය හැකිය. එහිදී මෙකී සිංහල අවුරුදු උත්සවය අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටයි. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් මෙම  සැණකෙලිය ඇරඹි බවට ඓතිහාසික සාධක බොහෝ ඇත. ඒ පිළිබව මදක් විමසා බලමු.

අපේ රටේ මිනිස් ශිෂ්ටාචාරය ගල් යුගය , නව ගල් යුගය, ලෝහ යුගය පසු කරමින් ගොවි යුගයක් දක්වා පිවිසීමේ දී මිනිසුන්ගේ පැවැත්ම රැක ගැනීමටත් ,පාලනයේ දී ඉස්මතු වන ගැටළු නිරාකරණය කර ගැනීමටත්, පාලකයෙකුගේ හෝ නායකයෙකුගේ අවශ්‍යතාව පැන නැගුණි.ඒ අනුව දින වකවානු තෝරා පත් කර ගැනීමට පිඹුරුපත් සැලසුම් කළේය. එහිදී ඥාන ශක්තිය සහ කාය ශක්තිය වැනි හැකියාවන් මනාව ප්‍රදර්ශනය කළ තිදෙනෙක් තේරී පත්වූහ. ඉසුරු කෝවිල්(හිරු දෙවියන් වන්දනා කළ ස්ථානය) භුමියේදී පැවැති අවසන් තරගයෙන් තහල් සෙත් විවහස් නම් වූ ගොවියා ජය ගත්තේය. ජනතාවගේ එකඟතාව මෙන්ම තමන්ගේ දක්ෂතාව මත ජයග්‍රහණය කළ බැවින් ඔහු මහා සම්මත යන සම්මාන නාමයෙන් පිදුම් ලැබීය. මිනිස් ඉතිහාසයේ පළමු වරට සිදු වූ මෙම තෝරා ගැනීම සනිටුහන් වන්නට “මනු” යන නාමයත් එකතු වී මහා සම්මතයෙහි මනු යනු නාමයෙන් අභිෂේක කරවීය.ඔටුණු පැළඳවීමේ උත්සවය පැවැත්වූයේ අප ඇදහූ සූර්ය දිව්‍ය රාජයා සෘජුව හිරු රැස් වැටෙන ස්ථානයකදීය.බක් මාසයේ අස්විද නැකතේදී මන්නාරමට මෙම ප්‍රථම හිරු රැස් පතිත වන බව ඔවුහු විශ්වාස කළ බැවින් ඒ මොහෝතේ ප්‍රථම රාජප්‍රාප්තිය සිදු විය. මනු රජ වෙසෙන තැන හෙවත් මනු වසන තැන යන්න පසු කාලයකදී මන්නාරම නමින් ප්‍රචලිත වූ බව ද ඉතිහාසයේ විමසීමේදී හෙලිවෙයි.

එමෙන්ම ප්‍රථම හිරු රැස් හෙලූ රැස, හෙළ රැස හෙවත් හිරුගේ රැස් පළමුවෙන් වැටෙන රාශිය නිර්මාණය වී තිබේ. පසු කාලීනව විවිධ සංස්කෘතීන් සමඟ මිශ්‍රව එළ රැසක් යැයි සඳහන් කර එළුවෙකු සංකේත කරගෙන මේෂ රාශිය නමින් සංකේතවත් කළේය. මෙකී ‍ඓතිහාසික සාක්ෂි මත පදනම්ව සිංහළ හින්දු අලුත් අවුරුද්දට මුල් ව ඇත්තේ සුර්ය වන්දනාවයි.අතීත ආගමික හා ඇදහිලි අතර සූර්ය වන්දනාව මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ම පැවත එන්නනකි. වඩාත් හොඳ අවබෝධයක් සඳහා එම ඉතිහාසයද ලුහුඩින් විග්‍රහ කර බලමු.මෙසපොතේමියානු ආදි මිනිසා සූර්ය වන්දනා සම්ප්‍රදායේ පුරෝගාමියා ලෙස හැදින්වේ.ඉන්දියාවේ වේද ශාස්ත්‍රයේද සූර්ය වන්දනාව පිළිබඳ කියැවේ.සූර්යයා කිසියම් අකාරයකින් අස්ථානගත වුවහොත් අන්ධකාරයෙන් ලොව වැසී යනු ඇතැයි ඔවුහු බිය වූහ. එබැවින් සූර්යයා දේවත්වයෙහි සලකා ප්‍රසාදය දිනා ගැනීමට පුද පූජා පැවැත්වූහ.ඒ සූර්ය දෙවියන් අශ්වයන් හය දෙනෙකු බැදි අශ්ව රථයක නැඟි කරන බව පැරැන්නෝ විශ්වාස කළහ. එබැවින් සූර්යයා‍ට පමණක් නොව සූර්ය දෙවියන්ගේ රථාචාර්යාට රිය බැඳි අශ්වයන්ටද පැරැන්නෝ විවිධ වත් පිළිවෙත් කළහ. වේද සාහිත්‍යයේද ඒ බව සඳහන් වේ.

ඉන්දියාව ආක්‍රමණය කළ ආර්යයන් හේතුකොටගෙන වේද සාහිත්‍යයට පදනම වැටුණි. එහි විසූවා යැයි සැළකෙන විස්‍යුස් නම් ජන කොටස පලවා හැර ඇති බව ඉතාහාසයේ සදහන් වේ. මේ නිසා දේව කෝපයක් ඇති වේයැයි බියෙන් ස්වභාදහමේ සියලු බලවේගයන්ට යාග හෝම කිරීම පුද පූජා පැවැත්වීමට ආර්යයන් පුරුදු වී ඇත. වේද ත්‍රය අතුරෙන් සෘග් වේදයට පදනම වැටුණේ එකී ඇදහිලි යාග හෝම වල ප්‍රතිඵලයක් ලෙස යැයි සැළකේ.

බුදු සමය ඇරඹෙන තෙක්ම පසුගාමී පිරිස් විසින් නිර්මාණය කරනු ලැබූ සියලු ඇදහීම් සමූහය විවිධ මුහුණුවරින් පරිණාමය වෙමින් පැවැති බව පෙනේ. පැරණි මිනිසා ආගමික භක්තිය කෙරෙහි නැඹුරු වූවෙක් විය. තාර්කික බුද්ධයෙන් හීන වී ඇත. බුදු දහම ආලෝකය පැතිරීමත් සමඟම භක්තියට වඩා ප්‍රඥාව මූල් වූ බව පිළිගත යුතුය. නමුත් එකී බුදු දහම හා බැදුණු වැදුම් පිදුම් සහිත නව සංස්කෘතියක් ගොඩනැඟුණු බවද පිළිගත හැකිය. ආගමික් වත් පිළිවෙත් අවුරුදු චාරිත්‍රවලට එක් වූවවද සංහල අවුරුද්ද ආගමික උළෙලක් බවට පිළිගැනීම යුක්ති සහගත නොව බව තර්කානුකූලව බැලීමේදී පිළිගත යුතුය.අවුරුදු උළෙල නොඑසේ නම් සූර්ය මංගල්‍ය අතීතයේ පටන්ට සිංහල දෙමළ දෙවර්‍ගයේම ජතික උළෙලක් ලෙස පැවත එන්නකි. සූර්ය මාස ක්‍රමය සංහළ දෙමළ යන දෙපාර්ශ්වයේම ජනතාව භාවිතයට ගනිති.එහෙයින්ම සූර්ය මංගල්‍යය පොදු බවක් උසුලයි. (බක් වෙසක්,වශයෙන්) විශේෂය නම් සංස්කෘතීන් දෙකකට අයත් පිරිස් (සිංහල,දෙමළ)  මෙසේ එකම සංස්කෘතික උළෙක් සැමරීම සුවිශේෂී කරුණකි.

අද අප සමරන්නා වූ සිංහළ හින්දු අලුත් අවුරුද්දත් සිංහල හා දමිල ජනතාවගේ සංස්කෘතික,ආගමික හා ‍‍දේශපාලනික යන අංග ලක්ෂණයන්ගෙන් සමන්විතව විකාශය වූවකි. ලංකාවේ අතීත ආගමික සහජීවනය පිළිපඳ සළකා බැලීමේදී සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ පණ්ඩුකාභය රජ දවස වෙතටයි. ප්‍රධාන ආගමික ධාරාවන්ට එපිට වූ ඇදහිලි ,විශ්වවාස රාශියක් එවක සමාජයේ පැවැතිණ. විවිධ කණ්ඩායම්වල සහයෝග‍යෙන් රාජ්‍යත්වයට පත් පණ්ඩුකාභය රජ විවිධ ආගමික ඇදහිලි විශ්වාසයන්ගෙන් යුත් පිරිස් සදහා වන්දානාමාන කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දුන් බව මහාවංශයේ සඳහන් වේ. සතර වරම් දෙවියන් අතරින් එක් අයෙකු වූ වෙසමුනි යක්ෂයා නමින් ප්‍රචලිත ධනයට අධිපති කුවේර දෙවියන් ලෙස ලක් වැසියන් හදුන්වන වෛශ්‍රවණ දෙවියන්ට උණ පදුරක් වෙන් කර දී තිබිණ. ව්‍යාධි ‍දෙවියන්ට තල් ගසක්ද නිගණ්ඨයන්ට වාසයට ගෘහයක්ද ශිව ආගමිකයින්ට හිව ලිංගය වන්දනය සඳහා ගෘහයක්ද තාපසයන් ආකාරයෙන් විසූ ශ්‍රමණයන්ට ආරාමද දී ඇති බව මහාවංශයේ වැඩි දුරටත් සඳහන් කොට තිබේ. මෙම ආගමික කණ්ඩයම් අතරින් ලෞකික ජීවිතයෙන් අත්මිදුණා වූ පුද්ගලයෙන් මෙන්ම ලෞකික ජීවිතයට ඇලුම් කළ අය ද වූහ.

ලාංකික සංස්කෘතික පෝෂණයට හින්දූන්ගේ බලපෑමද  බෙහෙවින් ඉවහල් වූ බව පිළිගත යුතුය. වරින් වර එල්ල වූ ආර්ය ආක්‍රමණ මෙන්ම විජයේ පැමිණීමත් චෝල ආක්‍රමණත් ඊට උදාහරණ වේ. සිංහළ ජාතිය විවිධ හේතූන් නිසා එක්තරා ප්‍රමාණයකට සම්මිශ්‍රණය වූ බව අකමැත්තෙන් වුවද පිළිගත යුතුය.විජය සමඟ පැමිණි හත්සියයක් පමණ පරිස මෙරට විසූ කණ්ඩායම් සමඟ ආවාහ විවාහ සම්බන්ධතා පවත්වන්නට වූහ. ඉන් පසු කාලයේ මහින්දාගමනය සමඟ පැමිණි කුල 18 ක පිරිස මෙරට තම වාස භුමිය කර ගනිමින් ආවාහ විවාහ සබඳතා පවත්වා ගත්හ.ඔවුන්ගෙන් පැවත එන්නෝ තවමත් අප අතර වෙති. චන්ද්‍ර මුඛ සීව රජුගේ බිසව දමිළ කාන්තාවක් බැව් ඉතිහාසයේ සඳහන් වේ. චෝල ආක්‍රමණ ද අපේ රටේ ජනතාව සම්මිශ්‍රණය වූ  තවත් අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. වලගම්බා රජ දවස යුද්ධයට පැමිණි පිරිස් අතරින් දිවි රැක ගත්තෝ සහ සතුරන් ලෙස අල්ලා ගත් පිරිස සිංහළයන් හා මිශ්‍රව ආවාහ විහාහ සම්බන්ධතා පවත්වමින් ජීවත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙසේ පැමිණි සියලු දෙනා බෞද්ධයෝ නොවූහ. අන්‍යාගාමිකයෝ වූහ. අනතුරුව ඔවුන්ගේ ආගමික සංස්කෘතින් හා දේශීය ජනතාවගේ සංස්කෘතීන් අන්‍යෝන්‍ය වශයෙන් මිශ්‍ර වෙමින් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතියක් නිර්මාණය කෙරිණ.

මෙවැන් ඉතාහාසයක් තුළ ශ්‍රී ලාංකික සිංහළ හා දෙමළ ජනවර්ගයන්ගේ ආගමික හා සංස්කෘතික උත්සවය හදුනා ගැනීමට නොහැකිවාක් මෙන් ජාතික ආගමික උත්සවද වෙන් වශයෙන් ගෙන සාකච්ඡා ඛල නොහැකිය.බෞද්ධ ජනතා කිසිදු පැකීලීමකින් තොරව හින්දු ආගමික සිරිත් විරිත් වැළඳ ගත්තා සේම බෞද්ධ ආගමික සිරිත් විරිත් කෙරෙහිද හින්දු ජනයා නැඹුරු වූහ. එනිසා ලංකාවේ අතීතියේ සිට හින්දු සහ බෞද්ධ ජනතාව  අතර  අසීමිත සහයෝගයක් තිබුණු බව සඳහන්වේ.අද ට ද ඇතැම් සිංහළ බෞද්ධ ජනතාව කතරගම,මුන්නේෂ්වරම් ,කෝණේෂ්වරම් ආදී හින්දු ආගමික සිද්ධස්ථාන කරා මහත් භක්තියෙන් යුතුව ගමන් කරති.  ශ්‍රී ලංකාවේ සිංහළ හා දමිළයන්ගේ ආගමික හා ජතික සමඟිය පිළිබඳ අවධාන‍ය යොමු කිරීමේදී කදිම නිදසුන් හමුවන්නේ එළාර රජ සමයේදීය. එළාර රජු අනුරාධපුරයේ රජ කම් කළ දවස ඔහුගේ අමාත්‍යවරු වූයේ බෞද්ධ සිංහළයෝය. ලක්දිව රජකළ නායක්කාර් පෙළ පතින් රජවරු බිහිවවුවද සිංහළයන්ට ගැටලුවක් නොවූයේ ඔවුන් දේශීය සංස්කෘතියට බුදුදහමට ද රටට  ද මෙහෙයක් කළ බැවිනි. එළාර හා රාජාධි රාජ අපේ රජ වරු නොවේය යන මහාවංශ කතුවරයා ඒ යුද්ධයක් කළ අපේ රජවරුන් පිළිබඳ අභිමානයෙන් කතා කර තිබේ. ආක්‍රමණිකයින් පළවා හැරීමට ගත් ශ්‍රේෂ්ඨ උත්සාහයන් ලෙස ඒ සංග්‍රාම වර්ණනා කර තිබේ.අප අමතක නොකළ යුත්තේ චෝල හා නායක්කාර් රජවුරන් ශ්‍රී ලංකා රාජ නාමාවලියේ ශ්‍රේෂ්ඨ නරපතීන් ලෙස අසුන් අරා සිටින බවයි.
පළමු වන විජබා රජ චෝල අධිරාජ්‍යයන් සමඟ සටන් කරඇති ඔහුගේ හමුදාව වූයේ වේලක්කාර භටයෝය. එකල විජබාහු රජුගේ දළදා මාළිගාව ආරක්ෂා කර ගන්නා ලද්දේ ද දෙමළ සම්භවයක් සහිත වේලක්කාර හමුදාවක් විසිනි.

අප අද සමරන්නා වූ අවුරුද්ද සංහළ ද දෙමළ ද යන්න වැදගත් නොවේ. මේ සිංහළයන්ගේ දේශයයි. ඒ ජාතිවාදී අදහසකින් පැවති වූවක් නොවේ. අතීතයේ සිට කීවේ මේ රට සිහළ දේසේ කියාය.

ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තියෙන්නේ බංගලි      දේසේ
ගෙනැත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනැත් සදන්නේ සිංහළ      දේසේ

මේ කවිය කිසිසේත්ම ජාතිවාදී කවියක් නොවේ. අපේ රටේ ගම්මානවල විසූ සිංහළ දෙමළ ගැමියා සිංහළ අවුරුද්දය දාට මෙම කවිය කිසිදු භේදයකින් තොරව ගායනා කළහ.

සිහළ යනපදයේ මුල් ස්වරූපය හෙළ යන්නයි. දකුණු ඉන්දීය සෙල් ලිපි වල හෙළ වචනය අදහස් වන්නේ ඉළ හෝ ඊළ යන අදහසිනි. අනුරාධපුර යුගයේ ලංකාවේ රැකවරණ පතා දකුනු ඉන්දියාවට ගිය නාග කුමාරය ඔවුන් හැදින්වූයේ ඉළ නාග  ලෙසිනි. එම අදහස වන්නේ සිහළ දිව සිට පැමිණ හෙළ නාගයා යන්නයි. ඔහු ලංකාවට පැමිණ අනුරාධපුරයේ රජවෙන්නේ ඉළනාග යන නමිනි. දකුණු ඉන්දියාවේ ඇති ලංකාව පිලිබඳ කියැවෙන සෙල් ලිපි වල ලංකාව හදුන්වා ඇත්තේ සීහළම්  වන අර්ථයෙන් ඊලම් කියාය. එහෙත් මෙම යෙදුම වරදවා වටහා ගත් අය එය අර්ථකතණය කළේ ඊලාම් දේශය කියායි. ඊලාම් දේශය යන දමිළ වචනයේ සිංහල අදහස් වන්නේ සිංහළ දේශය යන්නයි.එහෙත් සිංහළ අලුත් අවුරුද්ද යන ගැමි ව්‍යවහාරයේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද යන්නයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුද අවුරුදු මංගල්‍ය උත්සවාකාරයෙන් පවත්වා ඇත. අධිරාජ්‍යවාදීන් රාජසිංහ රජු අත්අඩංගුවට ගත්හ. එහෙත් ඔහු සිංහළ රජකේ නොව වඩුග රජ කෙනෙකි. ලංකාවේ පැරණි රජදරුව් රජ කළ වල් බිහිවූ දූෂ්කර රජ රට ප්‍රදේශය අධිරාජ්‍යවාදී යුගයේ  හැදින් වූයේ සිංහලේ කියයා. එය එක් කරුණකි.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම් පෙරලියේ කරෝලිස් යවන්නේ සිංහලේටය.කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ රදල දෝණියන්දෑ කරකාර බැඳ ගත් ජිනදාස නම් තරුණයාද ආර්ථික අපහුසතා නිසා වලව්හ හැර යන්නේද සිංහලේටයි.

මෙතෙක් අප විමර්ශනය කළේ ජාතිවාදයකින් තොරව සමරනු ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඉතිහාසය හා බැදුණු තොරතුරු කිහිපයකි. අද බොහෝ දෙනා ඩොලර් පවුම් යූරෝ වලට විකුණාගෙන කන සිංහළ දෙමළ ජාතිවාදය මෙම ඉතිහාසය දන්නා අයෙකුට නම් වැපිරවිය නොහැකිය.

තම බලය පවත්වා ගැනීමට වලිකන තමිල්නාඩුවේ ජය ලලිතාට ඉතිහාසය කියවා අවබෝධයක් පවතින්නේ ශ්‍රී ලංකාවට මෙතරම් එරෙහි නොවනු ඇත. එදා උතුරට හොර රහසේ  පැමිණි වයිකෝ නැමැති දකුණු ඉන්දීය පරාජිත දේශපාලනඥයාට කවුරුන් හෝ මෙකී ඉතිහාසය කියා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරට දශක තුනක අදුරු යුගයක් උදා නොවීමටද ඉඩ තිබිණ. මේ අනුව සලකා බැලීමේදී සිංහළ දෙමළ වැඩිහිටි අප කාටත් පැහැර හැරිය නොහැකි යුතුකමක් පවතී. එනම් සිංහළ දෙමළ අප කවුරුත් පොදුවේ මේ අලුත් අවුරුද්දේ ඇති ජාතික සබැඳියාව අපගේ බාල පරම්පරාවට හොද හැටි සිහිපත් කර දීමයි. එසේ සිදු කළ හොත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ලා යළිත් බිහි නොවුනු ඇත. එපමණක්  නොව ජයලලිතා මෙනවිය මෙවර සිංහළ අලුත් අවුරුදු උත්වයේ අවුරුදු කුමාරියට තේරීමේ තරගයකට ඉදිරිපත් කිරීමට හැකි වන්නේ නම් ඇයටද අපේ සංස්කෘතික සබැඳයාව සහයෝගය මනාව පසක් කළ හැකිය.

ප්‍රදීපා සංජීවනී දිසානායක

 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction